ඌරුබොක්ක ඔය
හා රත්මලේ කන්දෙන් මනා වූ ස්වාභාවික ආරක්ෂාවක් ලද සුන්දරම භූමියකි කටුවන.
එනිසාවෙන් ලන්‍දේසීන් විසින් ද ස්වකීය බලකොටුවක්
ඉදි කිරීමට යෝග්‍ය භූමියක් ලෙස මෙම භුමිය හඳුනාගෙන ඇත. ඒ අනුව කටුවන නගරයේ ප්‍රාදේශිය ලේකම්
කාර්යාලය අසල පිහිටි කටුවන කොටුව ලන්‍දේසින් විසින් ඉදිකර ඇති කටුවන කොටුව පිලිබදවයි මේ. මෙම ස්ථානය
පොළොන්නරු අවධියේ දී පළමුවන විජයබාහු රජු ද ආරක්ෂිත බල ප්‍රදේශයක් ලෙස තෝරා
ගෙන ඇත. මහනුවර රාජ්‍ය සමයේ උඩරට රාජ්‍යයත්, මුහුදුබඩ ප්‍රදේශයත් වෙන් කරන වැදගත්
මුර පොළක් ලෙසට සැලකුණු මායිම් ප්‍රදේශයක් වූ , කටුවන යනු හම්බන්තොට දිස්ත්‍රික්කයේ
මුල්කිරිගල ආසනයට අයත් නගරයකි.
මහනුවර සිංහල
රාජධානියේ අගනුවර සිට මාතර දක්වා වු මාර්ගය ආරක්ෂා කර ගැනීමටත් වෙළෙඳ සබඳතා
ආරක්ෂා කර ගැනීමටත් ඔවුන් මෙම කොටුව ගොඩනැගූ බව පිළිගැනේ. කටුවන ලන්‍දේසි කොටුවට
සිංහල ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව බ්‍රොහියර්ගේ වාර්තාවල සඳහන් වේ. 1761 පෙබරවාරි 08 වනදා සිංහල සේනාව
ලන්‍දේසි බලකොටුව යටත් කර ගෙන ඇත.
ක්‍රි.ව 1645 දී ඉදි කරණු ලැබ මේ
වන විටත් රට අභ්‍යන්තරයෙහි ඉතිරිව ඇති එකම විදේශීය යුද බළකොටුව ලෙස ගැනෙන කටුවන
බළකොටුව ලෙසද මෙය හදුන්ව දිය හැකිය. මෙම බලකොටුව හංවැල්ල හා අවිස්සාවේල්ල යන
බළකොටු වලට සමගාමීව ඉදිකර ඇත.
ගාල්ල, මාතර,
යාපනය, ත්‍රිකුණාමලය, කල්පිටිය ආදී වෙරළාසන්න ප්‍රදේශයන්හි ලන්දේසීන් විසින් බළකොටු
ඉදිකර ඇත. ඔවුන් වෙරළ තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ ද සිය යුධ ශත්කිය විහිදුවා සිය
බලපරාක්‍රමය තහවුරු කළ බවට නිදසුනක් ලෙස මුහුදු සීමාවෙන් සිට සැතපුම් 20ක් පමණ ඔබ්බෙහි රුහුණේ
ඈත ගම්මානයක ඉදිකර ඇති කටුවන කොටුව එම අදහසට වඩාත් හොද සාධකයකි.
ක්‍රි.ව 1645 දී ලන්දේසීන් විසින්
මාතර කොටුව ඉදි කිරීමෙන් අනතුරුව මහනුවර රාජධානිය හා ලන්දේසි බල ප්‍රදේශ අතර
පිහිටි කඳුකර මාර්ගය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ස්ථානයේ බළකොටුවක් ඉදි කිරීමට
තීරණය කරන්නට ඇත. මාතර මුහුදුබඩ ප්‍රදේශයේ සිට සබරගමුවට යා හැකි මාර්ගයක මෙම භූමි
භාගය පිහිටා තිබීම හා බළකොටුවකට ඉතාම යෝග්‍ය බවත් පෙනී යාම නිසා බව පැහැදිලිය.
කටුවන බළකොටුව
පිළිබඳ ඇති ඓතිහාසික සටහන් අනුව ක්‍රි.ව 1645 දී ලන්දේසීන් විසින් ඉදිකරන්නට යෙදුණු මෙම
බළකොටුව දිග පළලින් අඩි 150 ක් වන චතුරශ්‍රාකාර
ගොඩනැගිල්ලකි. මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 ක් පමණ උස වන අතර එහි අභ්‍යන්තරය දළ වශයෙන්
අඩි 8 සිට 12 දක්වා වෙනස් වන උසකින්
සමන්විතය. ප්‍රාකාරය විශාල ගල් කුට්ටි යොදා ගනිමින් හුණු බදාමයෙන් තනා ඇත.
ගොඩනැගිල්ලට ප්‍රවේශ දොරටු තිබී ඇත්තේ එකක් පමණි. එහි වම් පසින් බළකොටුව තුළ ඉතා
උස් වූ ගොඩනැගිල්ලක් තිබී ඇති අතර එහි ඔරලෝසුවක් ද සවිකර තිබී ඇත. එය යුද්ධෝපකරණ
ගබඩාවට ඉහළින් දර්ශනය වූ බවත් කොටුවේ ප්‍රාකාරයට යාබදව දකුණු පසින් ප්‍රධාන අණ දෙන
නිලධාරියාගේ නිල නිවස පිහිටා තිබූ බවත් කටුවන බළකොටුවේ ඓතිහාසික සැලැස්ම අධ්‍යයනය
කළ නිරීක්ෂකයින් දක්වා තිබේ.
මිදුලේ දිග
පැත්තෙහි ගබඩා ගෘහයක්ද එහි කෙලවර යුද්ධෝපකරණ තැන්පත් කළ දෙමහල් ගොඩනැගිල්ලක් ද
තිබී ඇති අතර එහි ඉහළ මාලය සෙබළුන්ගේ පදිංචිය සඳහා වෙන් වී තිබී ඇත. බළ කොටුවේ
තවත් කෙලවරක වෛද්‍ය උපකරණ වලින් පරිපූර්ණ ශල්‍යාගාරයක් හා ප්‍රධාන දොරටුවට වම්
පසින් දිය පිරුණු විශාල ළිඳක් ද තිබී ඇත. නමුත් පැරැන්නන් පවසනුයේ එය ළිදක් නොව
කොටු පවුර තුළ සිට වරාපිටිය වැවෙන් මතුවීමට තැනූ උමං ප්‍රවේශයක් බවය. එය සනාථ කරන
කතන්දර අදත් පැරැන්නන් අතර පවතී.
මෙම බලකොටුවට
දුර්භාග්‍ය දශාව එළඹෙනුයේ ක්‍රි.ව 1761 පෙබරවාරි මස 06, 07, හා 08 යන තෙදිනයන් පුරාම කාලතුවක්කු ද උපයෝගී කර
ගනිමින් සිංහල සේනාව විසින් එල්ල කර ඇති අඛණ්ඩ ප්‍රහාරයන්ය. කොටුවේ ප්‍රධානදොරටුව
මෙන්ම අභ්‍යන්තර ගොඩනැගිලි ද මේ ප්‍රහාරයන්ගෙන් විනාශ වී ගොස් තිබේ.
සිංහල
නායකයින්ට බලවත් හිසරදයක්ව පැවති මෙම ලන්දේසි බලකොටුවේ ඇද වැටීම සංකේතවත් කරණුවස්
මඩුවන් වල දිසාව විසින් කොටුවේ ප්‍රධාන ද්වාරයේ වූ ගල් උළු අස්ස ගලවා ගෙන ගොස්
මඩුවන් වල වලව්වේ ප්‍රවේශ දොරටුවේ සවිකර ලදුව එය මේ දක්වා එම ස්ථනයේ දක්නට ඇත.
එකල ලන්දේසීන්
ඕලන්ද ජාතිකයින් ලෙස හැදින් වූ ජන වර්ගයා අද හදුන්වනු ලබන්නේ නෙදර්ලන්ත ජාතිකයන්
ලෙසය. තම මුතුන්මිත්තන්ගේ නිර්මාණයක් වූ කටුවන කොටුව නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර
යටතේ 2007 දී පුරාවිද්‍යා
දෙපාර්තුමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලැබ ඇත. පුරා විද්‍යා මෙන්ම අපූර්ව ගෘහ
නිර්මාන තාක්ෂණයක වටිනාකමකින් යුත් මෙය පුරා විද්‍යාත්මක පර්යේෂනයන්හි යෙදෙන විශ්ව
විද්‍යාල මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානයට ලක් කළ යුතු සුවිශේෂි ස්ථානයකි.
දේශීය වශයෙන් මෙම ස්ථානය වඩාත් ජාතික ඇගයීමකට ලක් විය යුත්තේ සිංහලයේ අවසාන රාජ්‍ය
පාලන සමයේ ජීවත් වූ දේශමාමක සටන්කාමී හෙළ විරුවන්ගේ ඔදවත් බව වත්මන් පරම්පරාවට
කියාපාන රණබිමක සිහිවටනයක් වන බැවිනි.